තංගල්ල නගරයේ පිහිටි ඉපැරණි බෞද්ධ පාසල වන රාහුල මහ විදුහල පරම විඥානාර්ථ බෞද්ධ සමාගමෙන් ආරම්භ කරන ලද්දක් බව ඓතිහාසික තොරතුරු අනුව පෙනී යයි. ආරම්භක අවධියේ BTS නමින් හැඳින්වූ මෙම පාසල පසුව රාහුල යන බෞද්ධ නාමයෙන් හැඳින්වීමට පටන් ගෙන ඇත. පංච මහාවාද අතර ප්‍රසිද්ධම වාදය වූ පානදුරාවාදය ගැන ලොව ප්‍රචලිත වීම නිසා ඇමරිකන් ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ලක්දිවට පැමිණ එවකට බෞද්ධ පැවිදි පඬිවරුන් වන පූජ්‍ය හික්කඩුවේ සුමංගල හිමි, පූජ්‍ය රත්මලානේ ධර්මාරාම හිමි සහ ගිහි පඬිවරුන් වන අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා වැනි බෞද්ධ නායකයින් සමග ඕල්කට් තුමා එකතුව පිහිට වූ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම රටපුරා ගෙන ගිය මිෂනාරි අධ්‍යාපනයට සමගාමිව ඇති කළ බෞද්ධ පාසල් අතර රාහුල මහ විදුහල එකක් වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යන්ට යටත්ව තිබූ අවධියේ රට පුරා මීෂනාරි පාසල් ඉදි කර ක්‍රිස්තියානි ආගම පැතිරීමෙන් බෞද්ධ ආගම, සංස්කෘතිය සිංහල භාෂාව පිරිහීම වලක්වා ගැනීමට එවකට සිටි දේශප්‍රේමීන් ප්‍රධාන නගරවල බෞද්ධ සිංහල පාසල් ආරම්භ කිරීමේදී 1896 දී තංගල්ල රාහුල විදුහල ආරම්භ කර ඇත.
හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා අනගාරික ධර්මපාල තුමා වැනි හිත්‍යශීන් සමග එක්ව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වත්මන් පාසල පවත්නා භූමිය එවකට පදිංචිව සිටි එන්සොහාමි වික්‍රමසූරිය මහත්මියගෙන් පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ සහායෙන් මිලට ගෙන තාවකාලික ගොඩනැගිල්ලක් තනා සිසුන් 12 දෙනෙකුගෙන් පාසල ආරම්භ කළ බවට තොරතුරු වාර්තා වී ඇත.
පාසලේ කළමනාකරු වශයෙන් කොටුවේගොඩ පදිංචි එස්. වර්ණකුලසූරිය මහතා කටයුතු කළ අතර පී. අමරසිංහ, ඩී. අමරසිංහ මහත්වරුන් හා වික්‍රමසූරිය පෙරකදෝරු මහතා ප්‍රමුඛ පිරිසක් අනුග්‍රහය දක්වා ඇත.
1920 දී තාවකාලික ගොඩනැගිල්ල වෙනුවට ස්ථිර ගොඩනැගිල්ලක් පී. අමරසිංහ මහතා විසින් ඉදි කර ඇත. ඒ අතර ගිරිපාද ශ්‍රී සද්ධර්මෝදය සමාගමේ සී.එෆ්.එස්. ජයවික්‍රම මුදලි තුමා සිහිවීමට වේදිකාවක් සහිත ශාලාවක් ඉදිකර දුන්බව සඳහන් වේ.
ඉහත ඉතිහාස පුරා වෘතයෙන් පෙනී යන්නේ තංගල්ල රාහුල මහ විදුහලේ නිර්මාතෘවරයන් ලෙස
එස්. වර්ණකුලසූරිය මහතා
පී. අමරසිංහ මහතා
ඩී. අමරසිංහ මහතා
වික්‍රමසූරිය පෙරකදෝරු මහතා සැලකිය හැකිය.